Friday, June 30, 2017

2. වරෙක නැළවෙන, වරෙක ළතැවෙන, සිත......




සැනසුම යනු කුමක්දැයි සැවොම දනී. එහෙත් මේ කතා කරන්නට යන්නේ සැනසුම යන්නෙහි පැතිකඩයන් දෙකක් ගැනයි.

කෙනෙකුට සැනසුම ලැබීම එකකි. අන් අයෙකුට සැනසුම ලබා දීම තවත් එකකි.
මේ දෙකම දුෂ්කරක්‍රියාවන් යැයි මට හිතේ. හේතුව නම්, බොහෝ විට අප, යමකින් ලෙහෙසියෙන් නොසැනසෙන බැවිනි.

බොහෝ දෙනෙක් තමන් ලද දෙයින්, ලබන දෙයින්, සැනසෙන්නට මැලි වෙයි. වඩා මිහිරි වඩා සොඳුරු වඩා අගේ ඇති වඩා ප්‍රනීත දේ සොයා යන්නට පෙළඹෙයි. එසේ ගොස් ලබන දෙයින්ද නොසැනසෙයි. ඒ බොහෝ දෙන වරින් වර වටහාගන්නා දෙයක් නම්, වඩා මිහිරි වඩා සොඳුරු වඩා අගේ ඇති වඩා ප්‍රනීත දේ සොයා යන මේ ගමන අවසානයේ විවිධ කලකිරීම්වලින් පශ්චාත්තාපයෙන් කෙලවර වන බවයි. එවන් වටහාගැනීම්වලට එසේ වරින් වර ආවද, එහෙත්, සරලව අල්පේච්ඡව ජීවත් වී සැනසෙන්නට ප්‍රායෝගිකව නොපෙළඹෙයි.

කෙනෙකු විසින් සැනසීම සොයා යාම එවැනි දුෂ්කරක්‍රියාවක් වේ නම් තවත් කෙනෙක්ව සැනසවීම ඊටත් වඩා දුෂ්කරක්‍රියාවකි. නැති නම් කළ නොහැකියැයි හිතෙන මට්ටමේ එකකි. එහිද අවසන ඇති වන්නේ ළතැවුලයි. එහෙත්, සමහරුන්, තමන්ට ප්‍රිය අනෙකාව සැනසීමට නොගන්නා උත්සාහයක් නැත. 

මෙය ගීතයකින් කියැවුණු විට එය කෙසේ වනු ඇතිද?

එය මෙසේ වනු ඇත.

මියුරු කල්පනා
නෙතක දැල් වුනා
අමයුරු රස හසකැන් මැද
සිතත් හිනැහුනා
වරෙක නැලැවුනා
වරෙක ලතැවුනා
නුපුරුදු ගිණි දහසක් මැද
සිතක් මැලැවුනා
මියුරු කල්පනා

දිණුම්කණුව නම් වූ සිංහල සිතුවම් පටයට මේ ගීතය පද බඳින්නේ  


ප්‍රේමකීර්ති ද අල්විස් 
ගීත රචකයා විසිනි. එහි සංගීත නිර්මාණය 


සරත් දසනායක 
ගේ ය.  

සරත් දසනායක සිංහල  චිත්‍රපට සඳහා සිය මියුරු සංගීතයෙන් දැක්වූ දායකත්වය මේ යැයි ගෙනහැර පාන්නට යමෙක් ගීත කිහිපයක් තෝරාගන්නේ නම් ඒ ගීත කිහිපය අතරට අනිවාර්යයෙන්ම එකතු කරගන්නා ගීයකි මේ.

සිතක් එක් තැන නැවැතී නොතිබෙයි. නිරන්තරයෙන් එහි විවිධ කල්පනාවන් උපදී. මේ උපදින සමහර කල්පනාවන් මියුරුය. සොඳුරුය. රස බරය. සමහර කල්පනාවන් අඳුරුය. දුක් මුසුය. නිරසය. මේ කල්පනාවන්ගේ පිළිබිඹු කෙනෙකුගේ  මුවින් මතුවීම නොවැලැක්විය හැකිය.

වත යනු සිත කියවියහැකි කැඩපතකැයි කියන්නේ නිකමට නොවේ. මේ ගීත ඛණ්ඩයෙහිද ඇත්තේ එය නොවේද?

කල්පනාවන් මියුරුවන කල නෙත් දැල්වෙයි. දැල්වුණු නෙත් කාන්තියෙන් දිදුලයි. මුහුණේ සොඳුරු සිනාවන් ඇඳෙයි. වත පොබයයි.

කල්පනාවන් අඳුරු වේ නම් වතද අඳුරේ වැටෙයි. නෙත් ද අඳුරු වෙයි. මුහුණේ ප්‍රභාව සිඳීයයි.

මේ කල්පනාවන්ට අනුව වරෙක සිත නැළවෙයි. වරෙක සිත මැළවෙයි. වැලපෙයි.
මේ ගීතයෙහි සිටිනා පුද්ගලයා විවාහකයෙක් වන්නට ඇතැයි මට සිතේ......

ම්ම්ම්ම්ම්........ ඔහු විවාහකයෙකු නොව, පෙමින් බැඳී සිටින්නෙකු යැයි තවත් වරෙක දැඩිව සිතෙයි. ඊට හේතුව නම්, සිය ප්‍රියාවිය සනසන්නට ඔහු වන වෙහෙස කැපවීම අති මහත් වන බැවිනි. ඔහු විවාහකයෙකු වී නම්, මේ වන විටත්, ඈ සැනසීම සඳහා ගන්නා කොතෙක් උත්සාහයන් නිෂ්ඵල බවට යම් වැටහීමක් තිබෙන්නට ඉඩ තිබුණි.

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්

ඈ නමින් ඔහුට, මහා කඳු ශිකරයක් වැලි අහුරක් මෙන් ඇබිත්තකි. මහා සමුදුර කුඩා දිය රළක් තරමට කුඩාය. ඔහු තුළ සිටින ඇය, මේ සියල්ලටම වඩා විසල් බැවින්, ඈ වෙනුවෙන් ඔහුට කළ හැකි කැපවීම් පිළිබඳ සිතුවිලි ද විසල්ය. කොතෙක්ද යත්, කොළ හැලී වියලී ගිය කටු පඳුරු මත පවා මල් පුබුදාලියහැකි තරම් ය. ඒ සියල්ල ඈ සනසාලීම පිණිසය.

කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්

යැයි කියන්නේ එබැවිනි. එහෙත් ඉන් ඈ සැනසේවිද? නැති නම් එය නිමේෂයකට පමණක්මද? මට සිතෙන්නේ එය නිමේෂයකට පමණක් වන්නට ඇති බවය. ඈ ඉන් ලද සැනසුම දේවතා එළියක් හා සමානය. සැනෙන් අතුරුදන්ව නොසැනසීම ඈ වටකොට ගත් සේය. එබැවින් ය එහි දෙවැනි අන්තරා කොටස මෙසේ වන්නට ඇත්තේ.

පිනි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි

මේවා කළ හැකි දේද?. එහෙත් ඈ සැනසේ නම් එවැනි කළ නොහැකි දෑද කරන්නට ඔහු සිතයි. එසේ කළත් ඈ සැනසේද? සැනසුනත් සැනෙකට විතරද?
ඇගේ නොසැනසීම ඔහුව කොතෙක් පෙළන්නට ඇතිද? ඒ පෙළීම කොතෙක්ද යත්, ඈ සැනසේ නම් ඔහුට දිවි වුව පරදුවට තැබිය හැකැයි සිතයි.

කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්

යනුවෙන් කියන්නේ එනිසා නොවේ ද? 

එහෙත් එවැනි කැපකිරීමකින් හෝ ඈ සැනසේද යන්න ගැන කුකුසකි. ඔවුන්ගේ සිත් එවැනි බැවිනි.

ප්‍රේමකීර්ති ද අල්විස් මෙවන්, මිනිස් යුග දිවියේ සමහර පැති විනිවිද දකින ගී කොපමණක් නම් ලියා ඇතිද? ඒ බොහෝ දේට ඔහුගේම සමහර අත්දැකීම් මුසුව ඇති බව කියැවෙයි. මේ රචනා මේ සා සාර්ථකද එනිසාම විය හැකිය.

දිනුම් කණුව චිත්‍රපටය නරඹා ඇතිදැයි මගේ මතකයේ ඇඳී නැත. එබැවින්ම එහි මේ ගීය  ඇති ජවනිකාවද, ඊට ගීතයේ ඇති ගැලපීමද කීමට මා පොහොසත් නැත. එසේ මුත්, අපේ ද ආශ්‍රිත ජනයාගේද ජීවිත වල සමහර කාලාන්තර වල මෙවැනි සමීප කතා අපමණය. එබැවින්ම ගීතය අපේම යැයි අපට හැඟෙයි.

සංගිතය ගැන කතා කරන්නේ නම්, සරත් දසනායකයන් ගේ තනුව අති මනරම් ය. එය ළගන්නා සුළුය. එමෙන්ම යම් රිද්මයක්ද පවත්වාගෙන යාම නිසා එය සිත සේම ගතද අවදියෙන් තබයි. එහි රිද්මය ජීවිතයේ යම් රිද්මයකට සමාන වෙනවා සේ හැඟෙයි. එබැවින්ම කුමන මොහොතක සවනේ වැකුණද, එය අපව ඇද බැඳ ගනී. ඒ සරත් දසනායක සලකුණයි. 

මෙවන් ගීයක් ගැයීමට සුදුසුම හඬ ඊට ලද බැවින්, ගීතය වඩාත් එසැවී ඇත. ගායකයා 


ආචාර්ය වික්ටර් රත්නායක  
වීමෙන්ම, ගායනය ගැන ඊට වැඩි දේ කීම නිෂ්ඵල කරුණක් බවට පත් කර ඇත.  




 -      යසනාත් ධම්මික බණ්ඩාර    -

Thursday, June 29, 2017

1. නිල් සලරුවේ රඟන - මනමේ කුමරිය නුඹ......






මට දැනෙන ගී ගැන මට දැනෙන හැටියට නමින් මේ බ්ලොග් අඩවිය නිර්මාණය කරන්නට සිතුවේ මගේ යසනාත් සිතුවිලි http://yasanathsithuwili.blogspot.com/ බ්ලොග් අඩවියට කළ දීර්ඝ සටහන් යළිත් කියවන විට ඇති වුණු සිතුවිල්ලක් හේතුවෙනි. එවැනි දිග සටහන් වලදී සමහර ගීත ගැන වඩාත් දීර්ඝ විස්තර කථා කළ නොහැකි හෙයින් එහි කථාබහට ලක් කරණ සමහර ගී ගැන වඩාත් විස්තරාත්මකව කථා කරණට වෙනම බ්ලොග් අඩවියක් සුදුසුයැයි ඇතිවුණු හැඟීමත් සමගය මෙය කරළියට නැගෙනුයේ. ඒ අනුව එහි කථාකළ සහ නොකළ ගී ගැන මට දැනෙන හැටියට  අදහස් මෙහි යළි පෙළගස්සමි.

බ්ලොග් අඩවිය සරසන පළමු ගීතය ලෙස තෝරා ගන්නට සිතුණේ  


කුමාර ලියනගේ  
ලියූ විශිෂ්ට ගීතයකි. එහි වස්තු විෂයය මෙන්ම ලියැවුණු ආකෘතිය සහ යෙදුම් ඉතා මනරම්ය. මෙහි කථාබහට ලක්වනුයේ ගමේ නාඩගං පොළේ මනමේ කුමරිට පණ දුන් යෞවනිය කොළඹ කලා ලෝකයේ දොර කවුළු විවර කරගත් පසු ඇගේ යොවුන් වියේ දොර කවුළු බිඳගැනීමේ ඛේදවාචකය ගැනයි. 

කෙසේ වෙතත් එම ගීතය අසන සෑම විටෙකම  


ප්‍රවීන කිවිවර රත්න ශ්‍රී විජේසිංහ
යන් ලියූ,  


විශාරද ගුණදාස කපුගේ  
ශූරීන් සංගීතවත් කළ


ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ  
විසින් ගයනු ලැබූ

සඳ කිඳුරා මිය ගියා - ගමට එන්න නංගියේ

ගීතය මගේ මතකයට එයි.
ආකෘතිකමය වශයෙන් මේ ගීත දෙකෙහි වෙනසක් ඇතිවා වුවද අනුභූතීන් වශයෙන් ගත්විට සමාන කමක් දක්වයි. එසේම මෙම ගීත දෙකෙහිම රසිකයින් සංවේදනය කරන පරාසය එකක්ම යැයි සිතේ. එබැවින්ම මෙම කථා බහ අස්සේ එම ගීතය ගැනද බිඳක් හෝ කථාකළ යුතු යැයි හැ‍ඟේ.

සඳ කිඳුරා මිය ගියා - ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා - අවසන් කටයුතු කළා....

ගමේ නාඩගංපොළේ - කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්ට කොළොම් තොටට ඉගිළුනා
කණ කෙකිනිය ගමට ඇවිත් ඇඬුවා නුඹ ගැන කියා
ඇඬුවා නුඹ ගැන කියා......

වෙල් දෙණි ඕවිටි පුරා - තනිවම සීපද කියා
තනිව හිටිය කින්නරා - ළය දැදුරුව මිය ගියා
කණ කෙකිනිය අඩන්නෙ නෑ - ඇහේ කඳුළු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා.......

පද      : රත්න ශ්‍රී විජේසිංහ
ස්වර   : විශාරද ගුණදාස කපුගේ
හඬ     : ජානක වික්‍රමසිංහ

සඳ කිඳුරා මියගියා ගීතය මෙහි අසමු...



රත්න ශ්‍රී මෙම ගීතයෙන් ගමේ නාඩගම් පොළෙහි රැඟූ සඳ කිඳුරියට වුණු විපතක් මනාව  ගැන ගෙනහැර දක්වනු  ලබයි.

එදා සඳ කිඳුරිට ඇන්ද ඇය, කිඳුරාව ගමේ තනිකර දමා, කොළොම් තොටට ඉගිලුනේ අනෙකකට නොවේ. මුළදී ප්‍රසිද්ධිය සහ ජනප්‍රියතාව උදෙසාද, දෙවනුව හැකියාවන් සහ ආත්මය විකුණා මුදල් ඉපැයීමද උදෙසාය. 

මේ සිදුවීමෙන් ගමද කිඳුරාද බොහෝ සේ කම්පා වුණි. 

මේ කම්පා වීම ඈ ඔහුව දමා යාම පිළිබඳව ම නොවේ. නගරයේ සිට පැමිණි එකියක කිවූ තොරතුරක් නිසාවෙනි. ගමට ආ ඇය මෙම තොරතුරු කියා සිටියේ හැඬූ කඳුළිනි. හඬන්නට තරම් දේ එම තොරතුරුවල විය. අවසන් ප්‍රතිඵලය වූයේ ශෝකය දරණු බැරිවී කිඳුරාගේ ළය පැලී මියයාමයි.

ගමේ නාඩගංපොළේ - කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්ට කොළොම් තොටට ඉගිළුනා
කණ කෙකිනිය ගමට ඇවිත් ඇඬුවා නුඹ ගැන කියා
ඇඬුවා නුඹ ගැන කියා......

වෙල් දෙණි ඕවිටි පුරා - තනිවම සීපද කියා
තනිව හිටිය කින්නරා - ළය දැදුරුව මිය ගියා
කණ කෙකිනිය අඩන්නෙ නෑ - ඇහේ කඳුළු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා.......

ගමෙන් පන්නරය ලබන බොහෝ අය නගරයට පිවිසෙයි. නගරයට පිවිස ගම අමතක කර දමා නගරයේ අගුවකට විසි වෙයි. ඔවුන් ගැමියන්ද නොවෙයි. නාගරිකයින්ද නොවෙයි. ඔවුන් ගමෙන් ගෙනා සියළු වටිණාකම් අහිමිකරගනී. නගරයේ වටිණාකම් උකහා නොගනී.

මේ ගමෙන් පැමිණි කෙනා යුවතියක කතක වූ විට තත්ත්වය තවත් දරුණු වෙයි. නම් වශයෙන්ම කීමට වුවත් හැකි උදාහරණ එමට බව මදක් සිතන විට ඔබටද වැටහෙයි.

සඳකිඳුරා මියැදුනා හි ඇත්තේ මේ සත්‍යයයි.

මා සඳ කිඳුරා මියැදුනා ගීතයේ අන්තර්ගතය විග්‍රහ කළේ සැකවිනි. අතුරු කථාවක් වන බැවිනි. දැන් අප අපට සෘජුව අදාල වන ගීතයට යොමුවිය යුතුය. මෙම ගීතයෙහි සහ පෙර කී ගීතයෙහි ඇති සමානකම් සහ අසමාන කම් විමසා බලන්න.

නිල් සලරුවේ රඟන - මනමේ කුමරිය නුඹ නාඩගම් පොළේ
ගමේ රඟබිමේ
පැරදී එදා දුන්න - මට මගෙ කඩුව දෙන්න
වැදි රජතුමණි නාටකේ

පෙර ගීතයේ කතා බහ සඳකිඳුරු නාඩගම පිළිබඳවය. මෙම ගීතය මනමේ ගැනය. ඒත් වේදිකාව නම් ගැමි රඟමඩලම ය. 

මෙහි නාටිකාංගනාව කොළොම් තොටට ගොස් නටන්නේ එසේ මෙසේ නැටුමක් නොවේ. නිල් සලරුවේ රඟන යනුවෙන් කියන්නේ ඒ නැටුමේ රඟයි. නිල් යන්න නොදන්නේ කවුද? එහෙත් සලරුව යන්න ගැන නොදන්නේ නම් සලරුව යනු චිත්‍රපටයයි. දැන් නිල් සලරුව යනු කුමක්දැයි කාටත් වැටහෙනු ඇත.

එහෙත් සඳ කිඳුරා මියැදුනා ගිතයේ එය එතරම් සෘජුව නොකියවෙයි. එහි කියන්නේ කන කෙකිනිය ගමට ඇවිත් ඇය ගැන කියා හැඬූ බවකි. එසේ මුත් මේ දෙකෙන්ම කියවෙන්නේ එකක්මය. දනවන්නේ සමාන හැඟුම්ය. නමුත් කියනා විදිහ වෙනස්ය. රිද්මයද වෙනස් ය.

මල් පිපිලා සංකර කොළොම් මහ වනේ
ණය වී කදිම රුවට පිපුණු එළලියේ
පෙම් බැඳ කාසිවලට ඉගිලිලා ගියේ
ගලවා සිනිඳු සේල ගමට විසිකළේ

නගරයට අනුව හැඩ ගැසීමට ඇය කළ යුතු දේ බොහෝය. මුළින්ම ගැමිකම හැර  දමා ඈ සංකර විය යුතුය. සංකර වීමට නම් මුදල් නැතිව බැරිය. ඒ මට්ටමෙන් මුදල් ඉපයීමට නම්, වෙනත් සුදුසුකම් නැත්තේ, හැඳ සිටින සළු පිළි උනා දැමිය යුතුය. හැඳි සළු උණාදැමීම මුදල් සෙවීමේ යම් පහසු කඩිනම් මගකි. එහෙත් ගම පිළිබඳ මතකය එසේ සළු පිළි උනා දැමීමට බාධාවකි. එබැවින් උනා දැමූ සළු පිළි ගම පිළිබඳ මතකයද සමගම පෙරලා ගමටම විසිකළ යුතුය. ගම ගැන මතකය වීසි නොකරණා විට, සළු පිළි උණාදැමීම යම් දුෂ්කරක්‍රියාවකි.

මොලවා අතමිට රොන් සලා පුරවරේ
සැතපෙනවද ඇහැරී නපුරු සිහිනයේ
සිපබඳ මුව මී රසපොවන ආදරේ
විසිතුරු සළුපොට අහසේද සළෙලියේ

වැඩි විස්තර අනැවිසිය. විසිතුරු  සළුපිලි  උනා දමමින් ඇය අද නටන නාඩගම මනාව පැහැදිලිය.

පුර දනෝ අස ඈ ඇය සිය රැඟුම රඟන්නේ අතමිට මොළවනා තරමටය. ඈ සිය ගත සුව පාන්නේ, මුව අමා දෙනු පොවන්නේ, ආදරය පුදන්නේ මුදලටමය. එය මට සිලිටි දිවියක් නොවේ.  නපුරු සිහනයකින් ඇහැරුණාක් බඳු දිවියකි.

සංගීතඥ කරුණාරත්න විජේවර්ධනගේ සංගීතයෙන් අරුත් කුළුගැන්වුණු මේ ගීතයද ගයනු ලබන්නේ අප මිතුරු ගායක කරුණාරත්න විජේවර්ධන විසිනි. කරුණාරත්න විජේවර්ධන සංගීතඥයාද, කරුණාරත්න විජේවර්ධන ගායකයාද ජීවත් වනුයේ අප මිතුරු කරුණාරත්න විජේවර්ධනගේ සිත කය තුළය.

නිල් සලරුවේ රඟන - මනමේ කුමරිය නුඹ නාඩගම් පොළේ ගීතය අසමු.


 

මේ සුන්දර සංවේදී හරවත් ගීතයෙන් ඇරඹෙන මට දැනෙන ගී මට දැනෙන හැටියට ඉදිරිපත්කිරීමේ මේ චාරිකාවට ඔබත් නිතර ඇවිත් යන්න.



 
 -      යසනාත් ධම්මික බණ්ඩාර    -