Sunday, July 23, 2017

4. ඡයාවක හෝ ඇය නොදකී නම්....






අවසන් වරට කතා කළ ගීය වූයේ ඇරඹුමම කඳුළක් වෙලා යන කසුන් කල්හාර ගැයූ ගීයයි. ඒ සටහන නොකියැවූ අයෙක් වී නම් මෙම දිගුව ඔස්සේ ගොස් කියවා සිටීම වැදගත් වන්නේ, වියෝ ගීයකැයි බොහෝ දන හඳුන්වන බැවින් ඒ අදහස මත පිහිටාද අදහස් දැක් වූ නමුදු, මටම ආවේනික අදහසක පිහිටා මා අනතුරුව දැක් වූ අදහස මේ ගීය විඳීමට ද මහත් රුකුලක් වන හෙයිනි.

එබැවින් ඒ ගීය ගැන කියවා මේ ගීය ගැන කියැවීමට මේ ඔස්සේ එන්න.
 
මා එහි තැනක මෙවන් වදන් ටිකක් ලියා ඇත්තෙමි.

පුතුන් බොහෝ දුර ගමන් කර තිබියදී පවා මවකගේ වියෝව පුතුනට මහත් දුකක් වන කල, පුතෙකුගේ ගමනක ඇරඹුමේදී ම මවක් වියෝ වන්නේ නම් ඇරඹුම ම කඳුළක් නොවී තිබෙන්නේ කෙලෙසින්ද? මට හැඟෙන්නේ ම මේ පුතෙකු සිය ගමන අරඹද්දී ම වෙන් වුණු මවක් ගැන මෙහි රචකයා අදහස් කරන්නට ඇති බවය. ඔහු එසේ අදහස් නොකළත් මට එය හැඟෙන්නේ එලෙසින් ම ය.

පුතුගේ මේ ඇරඹුම උපත නොවන බව මතක් කරමි. මවගේ මේ වියෝව පුතුගේ උපතත් සමඟ ම වූවක් නොවන බව ද මතක් කරමි. මේ ඇරඹුම අනෙකකි.

මොහොතකට අපි සිතමු ඔහු ලොකු මහත් වී සිය ගමනේ වෙසෙස් ඇරඹුම ගත් කාල වකවානුව එය ලෙසින්.

සිය පුතුන් ජය ගනු බලනු රිසින් සිටින මවක් ඒ ජය ලබන්නට මොහොතකට පෙර වෙන්ව ගියේ යැයි සිතන්න. එය හරියට ම දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ගීතයේ බඳු සිද්ධියක් ලෙසටය මට දැනෙන්නේ.

එහි කියැවෙන්නේ,

ඒ දිවියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට
ඔබ මා ළඟ නැත
අම්මා

කියාය.

මට මෙහි ඇත්තේද ඒ දැනවුම ම ය.

එහි ඊ ළඟ පද පෙළත් ඊටම මනාව පෑහෙයි.

දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

එවන් පුතෙකු වැදීමට හැදීමට මවක් ගන්නා වෙහෙස දුක් බර ම කවියක් වැනි වීම කාටත් නොරහසකි. එසේම, එය නිම කිරීමට පෙර එවන් මවකගේ වියෝවීම පුතෙකුට ද එවන්ම දුකක් වන බවද ඒ කාටත් නොරහසකි. එය දුකක් සේම ඔහු දිවියේ විසඳන්නට බැරි ගැට පද කවියකි. ඈ ගියේ හරියටම ඉතිරි පදය කුමක් විය හැකිදැයි අනුමාන  කර ලියන්නට පුතුට පවරා එහි අරුත පසඳින්නට ද ඔහුටම තැබූ සේ ය.

මේ දුක හඳුන්නනේ පුතුන් පමණක් නොවේ. දූවරුන්ද එය හොඳින් හඳුනයි. අම්මා නැති අඩුව පුතුනට දැනෙනවාටත් වඩා වැඩියෙන් දූවරුනට ඇනෙනවා ඇතැයි ඇතැම් විට මට හැඟේ. එහෙත්, එය එසේමදැයි ස්ථිරවම කීමට සමත් මිණුම් දණ්ඩක් මා සතුව නැත.

කෙසේ වෙතත් මී ළඟ ගීතය පදනම් වන්නේ අමතක මවකගේ මතකය ගැන දුවකගේ කඳුළු කතාවක් මතය.

මවගේ මතකයවත් යමෙක් සතු වේ නම් එය මහා සැනසුමක් වන්නේ කෙසේදැයි හැඟෙන්නේ යමෙකු තුළ සිය මවගේ මතකයවත් නොමැති වූ කල්හි පවතින හැඟුම් වටහා ගතහැකි නම් පමණි. අප මතකයේ මතු නොව, මව අපද සමග, අපද මවු පිය පදවි හොබවන තෙක්ම දිවි ගෙවූ නිසාවෙන්, ඒ හැඟීම නිසි ලෙස වටහා ගන්නට නොහැකි වන්නේ වුව, එය මොන තරම් අඳුරු අගාධයක ඇති භයංකර බව මවන්නේ දැයි සිතා ගැනීමට කා හට වුව නොහැකි වේ යැයි මම නොහඟිමි. එය එතරම්ම අඳුරුයැයි මට සිතේ.

මේ හැඟීම වදන් තුළට ගොනු කරගන්නේ කෙලෙසින්ද? ඒ හැඟීම මහා ගැඹුරු වදන් තුළ නොසංගා, සරල වදන් පෙළ ගැස්මක් තුළ දවටා මහා හැඟුම් ජනිත කරවන මේ අපූරු ගී පද පෙළ බලන්න.

මතකය ඇසුරින් සිහියට ගන්නට
නිතරම වෙහෙසුණෙමි
මට පමණක් ඒ පින නැත්තේ ඇයි
නිරතුරු වැළපුණෙමි

අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමී
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමී...

මතකයේ වත් නිවැරදි සටහනක් තබා ගැනීමට ඈ අසමත් යුගයක ය ඈ මව මෙලොව හැර දා ගොස් ඇත්තේ. ඒ ගොස් ඇත්තේ ඈ ව මොලොව තනිකර නොවේද? 

මතකයේ වත් අම්මා සිටී නම් කුමන වූ පහසුවක්ද? සහනයක්ද? සැනසීමක්ද? මතකයේවත් අම්මා නැති කල, අම්මා මෙන්න මෙවැනි යැයි සිතන්නට ඈ ගන්නා වෑයම තුළ මතුව ඈ රිදවන අනන්ත දුක කවරාකාර වන්නට ඇතිද?
එදා ඈට අමතක කාල වකවානුවක මෙලෙස වන්නට ඇතැයි ඈ සිතනායුරෙහි ඇති මහමෙරක් වන් දුක කඳුළෙහි දියව යන්නට ඇතිවාට වඩා සුසුමෙහි මුසුව හමා යන්නට ඇතැයි මට සිතේ. 

කෙනෙකු තම දුක වඩාත්ම පහ කර හරින්නේ කඳුළේ දියකිරීමෙන්ද? සුසුමෙහි පා කිරීමෙන්ද? මේ පැණයට ඔබේ පිලිතුර කුමක්ද? මගේ පිලිතුරමද?

මට හැඟෙනයුර නම් බොහෝ විට අප, කඳුළට වැඩි තැනක් දුන්නද, සුසුම එහි වැඩි බර උහුළනු අති බවයි.

ඈට අමතක ඈ බිළිඳු දවස්වල මේ සිද්ධි මේ විදිහටම වන්නට ඇති. එහෙත් එක දෙයක් පමණක් නොවන්නට ඇති. ඒ නොවන්නට ඇති දේ ය මෙහි වඩාත්ම සංවේදී කොටම වනුයේ.

ඉස්සර දවසක උදෑසනක ඔබ
මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී
මට ලේ කිරි දෙන්න ඇතී
මගෙ හිස පිරිමැද මගෙ ගත පිරිමැද
මුව සිප ගන්න ඇතී

ඔව්. ඒ සියල්ලම ඒ විදිහට වන්නට ඇති. එහෙත් සිය දියණිය වෙනුවෙන් ඈ නොකළ එක් දෙයක් වෙයි. ඈ සිය දියණිය වෙනුවෙන් එය නොකිරීම දියණියට කළ අඩුවක්ද? අවැඩක්ද? වරදක්ද? නැති නම් හොඳක්ද? 

එය කාගේ කෝණයෙන් මැණ කියන්නද? 

දියණියගේ කෝණයෙන් ගත් විට පෙනෙන දේ මෙහි ලියා ඇත. එහෙත් මවගේ කෝණයෙන් බැලූ විට ඇති දේ අප සිතා ගත යුතු වෙයි.

මෙහිදී මේ මව නොකර සිටියේ මෙයයි.

ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇතී...

එනම් ඈ යනවිට ඈ සමග සිය දියණිය ගෙන නොයන්නට ඈ තීරණය කර ඇත.
මව ගියේ කොයිබටද? මරු තුරුළටය. ඈ සිය දියණිය රැගෙන නොගියේ මරණයේ සීතල ඇඟිලි තුඩු වෙතට ය.
එහෙත්,

ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇතී...

යන්න තුළ ඈට ඇත්තේ සිය මව තමන්ව තනිකර දමා ගිය ශෝකයේ මහා දෙදරුමය. එහි කියනා අනෙක් දේ නම්, මවු තුරුලේ සිටිමින් මරු තුරුළට යෑම වුව යහපතැයි වන හැඟීමක් ඈට ඇති බව නොවේද?

අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමී
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමී
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි...

මෙහි මේ කොටසෙහි වන වැදගත්ම දේ නම්, අපැහැදිලි අමතක අතීතයක මතකය මතු කරගන්නට වෙහෙසෙන ඈට අපැහැදිලි වුව යම් දෙයක් පිළිබඳව වන තිර විශ්වාසයයි. ඒ පැහැදිලි නොවන දෙය මතු කරණ හැඟීම අම්මා නිසා වන බවයි. එවන් හැඟීමක් ජනිත කළ හැක්කේ අම්මාට ම පමණි. අන් කිසිවෙකුට එවන් හැඟුමක් ජනිත කළ නොහැතකිය. ඒ නිසා ය එහි මෙලෙස ලියැවෙන්නේ.

පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි...

පැහැදිලි නැති ඒ එකම එක ඡායාව අම්මා ම බවට ඇති විශ්වාසය ඈට මහත් සහනයක් වන්නට ඇත.

ගීතය පිළිබඳව වන හැඟීම් විමසුම පිළිබඳව ලියන්නට වදන් ශක්තිමත් නැත. එබැවින් වදන් වත්තම කරගෙන හැඟීම් තුළටම පිවිසිය යුතුය. මේ ගීය අසනා වාරයක් වාරයක් පාසා මගේ උගුර හිරවෙනු මට දැනෙයි. එය ඔබට ද දැනිය යුතුමය. ඒ දැනුම වදන් ගලපා ලියන්නේ කෙලෙසින්ද? ඒ දැනුම වදන් වලින් පෙන්විය හැකි දෙයක් නොවේ. විඳ පසක්කර ගතයුතු දෙයකි.

මේ ගීතයේ ඊ ළඟ වෙසෙස් කරුණ නම්,  


සංගීතඥ, ගායක ක්ලැරන්ස් විජේවර්ධන  
සතුව තිබූ පබැඳීමේ ශක්තියයි. ඔහු විසින්ම ලියන ලද ගී කිහිපයක්ම අපට හමු වෙයි. එහෙත් මා කිසි දිනක ඔහු මෙතරම් සංවේදී ගී පබඳින්නෙකැයි සිතා නොතිබුණි. මේ ගීතය මීට වැඩි සරල පැහැදිලි අයුරින් කෙනෙකුට යළිත් ලිවිය හැකිද? එය ඒ තරමටම සරලය. පැහැදිලිය. එහෙත් පුදුමාකාර තරමකින් සංවේදීය. එය ඔහු සතු විශිෂ්ඨත්වයයි.

මේ ක්ලැරන්ස්ගේ මව ගැන ලියූවක්ද? නැති නම්


ඉන්ද්‍රාණි පෙරේරා 
ගේ  මව ගැන ලියූවක්ද? නැති නම් දෙදෙනාගේම නොවන කාගේ හෝ මවක් ගැන ලියූවක්ද? කොයි කාගේ මව ගැන ලියූවද, මෙවැනි අත්දැකීමක් නොමැති දරුවෙකුගේ වුව දෑසට කඳුළු ගෙන ඒමට, පපුවේ සුසුම් පිරවීමට, සුසුම් පුරවා පපුව හිර කිරීමට එය සමත් වෙයි.


ගී පද     : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: ඉන්ද්‍රාණි පෙරේරා


ගීතය අසමින් සංවේදී වෙමු.




 
 -      යසනාත් ධම්මික බණ්ඩාර    -

Monday, July 10, 2017

3. කඳුළේ ඇරඹුද ? - ඇරඹුමේ කඳුළද ?





ලොව ඇති ඇරඹුම් වලින් සෑම ඇරඹුමක් ම සතුටකින් ම කරන්නේ නොවේ. එහෙත්  කැමැත්තෙන් අරඹන බොහෝ දේ අරඹන්නේ සතුටිනි. 

සතුටින් අරඹන දේ සතුටින් කෙළවර වනු දකින්නට අකමැති කෙනෙකු නැත. කෙසේ වෙතත් සතුටින් අරඹන සියල්ලම කෙලවර වන්නේ සතුටින්ම ද නොවේ. 

ඒ සමහර දේ සතුටින් කඳුළින් කෙළවර වේ. තව සමහර දේ කඳුළින් කෙළවර වේ. නමුදු, ඇරඹුමේ සිට කෙළවර දක්වා වන යම් සාධාරණ කාලයක් සතුට කඳුළක් වන්නට ගනී නම් එය යම් අයුරකින් ඉවසිය හැකිය. එහෙත් ඇරඹුම ම කඳුළක් වේ නම් එය ඉවසනු හැක්කේ කෙලෙසින්ද? එය ඛේදවාචකයක් ම ය. 

එහෙත් එවන් ඛේදවාචක ලොව නැතිවා නොවේ.

ඇරඹුම ම කඳුළක් විය හැකි දෑ විවිධ විය හැකිය. එහෙත් ඇරඹුම ම කඳුළක් වන දෑ අතුරින් ප්‍රතිශතයක් වශයෙන් ගත් කල වැඩි වශයෙන් ම එසේ විය හැකි යැයි සිතෙන්නේ පෙම් සබඳතාවන් ය. එවන් කඳුළකට උරුම කම් කියන්නවුන් මේ සටහන කියවන අය අතරේ ද සිටිය හැකිය. මා කියන්නේ ඇරඹුම ම කඳුළක් නොවී අවසානය කඳුළක් වූ හිටපු පෙම්වතුන් ගැන නොවේ. ඇරඹුම ම කඳුළක් වූවන් ගැනය.

ඇරඹුම ම කඳුළක් වෙලා ගීතය එවන් පෙම් කතාවක් හා සම්බන්ධ එකක්ද?
වන්නට ද හැකිය.

එහෙත් ඒ ගැන කතාවට පෙරාතුව මෙහි ගීත රචකයා ගැන ටිකක් කිව යුතුය.

දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

පරවි දෙපා වැනි
සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන්
සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ

මහද විමානයෙ
තැන්පත් කල ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවාගෙන
බිලිඳු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ

දිලීප පොඩිපුතු ගීතයේ ගායනය හා සංගීතය  


ක්ලැරන්ස් විජේවර්ධන 
ගේ ය. එය නොදන්නා අයෙකු නැති තරම්. එහෙත් ගීතයේ රචකයා කවුරුන්දැයි ඇසුව හොත් එය දන්නා අය සාපේක්ෂව ඉතා අඩුය. එහි ගී පද ප්‍රවීන ගීත රචක  
 කරුණාරත්න අබේසේකර  
ශූරීන්ගේ.
 
ඇරඹුමම කඳුළක් වෙලා ගීතය ගැන කතා කරන්නට ගොස් දිලීප පොඩි පුතු ගීතය ගැන කතා කිරීම විකාරයක් සේ හිතෙන අයත් ඉන්නට පුළුවන් ය. එහෙත් ඒ අය තවත් සුළු වෙලාවකින් සිය අදහස් වෙනස් කරගනීවි යැයි සිතමි.

ප්‍රවීන ගීත රචක කරුණාරත්න අබේසේකර ශූරීන් දිලීප පොඩි පුතු ගීතය ලියන්නේ සිය පුතණුවන් වෙනුවෙනි. ඔහුගේ නම  දිලීප අබේසේකර  ය.

දැන් ඔන්න ආයෙම එක ගීතයක් ගැන කතාවට තව ගීතයක් ඈඳාගෙන එතනින් නොනැවතී පිය පුතු සම්බන්ධයකුත් ඈඳාගෙන ය. 

ඔව්. එය කළේ උවමණාවෙන්මය. මක් නිසාදයත් ඒ දිලීප පොඩි පුතු ය ටිකෙන් ටික ලොකු මහත් වී ඊට පසු මේ අපේ ඇරඹුමම කඳුක් වෙලා ගීතය ලියන්නේ. ඒ අනුව ප්‍රවීන ගීත රචක කරුණාරත්න අබේසේකරගේ පුතණුවන් ය ඇරඹුමම කඳුළක් වෙලා ගීතය ලියන්නේ. එනම් අර 

දිලීප අබේසේකර  
ම ය.

ඉතින් දැන් අපි ඇරඹුමම කඳුළක් වෙලා ගීතයට යොමු වෙමු.

ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

මේ ගීතය ගැන මම හිතූ විදිහ මට කියන්නට වෙන්නේ තවත් ටිකක් පසුවටය. දැන් මට කියන්නට වෙන්නේ ගීතය ගැන එහි රචකයා කිව්වාය කියා යම් සටහනක තිබී මා උපුටා ගත් අදහසකි. එය දිලීපගේ ම වචන වලින් කියනවා වගේ ය ලියා තිබුණේ.

මේ සිංදුවට මහා විශාල නිමිත්තක්‌ නැහැ. වර්තමාන ප්‍රේමයේ තත්ත්වය ගැනයි කියන්නේ. අද ආදරය කරන්නේ ඉවරයක්‌ දකින්න නොවෙයි. අද අපි අත්දකින්නේ ඉලක්‌කයක්‌ නැති ප්‍රේමයක්‌ විවාහයෙන් කෙළවර වන ආදරයත් නොවේ. මම මුළින්ම ලියුවේ "ආ දුරත් දුර නැති නිසා කියලා. ඒත් කසුන්ට දෙවැනිවර ගීය රෙකෝඩ් කරද්දී ආ දුරත් දුර වැඩි නිසා කියලා වැරදිලා කියෑවුණා. දැන් හිතෙනවා ඒ වැරැද්ද........හරි කියලා.......

එහෙම තමයි දිලීප අබේසේකර කියාලා තිබුණා කියා ලියාලා තිබෙන්නේ. කියලා තිබුණා කියා ලියාලා තිබුණු දේ ඇත්තමද කියා මා නොදන්නේ එය තවත් කෙනෙකු විසින් ( gora @ Elakiri.com හි ) කළ උපුටා ගැනීමකින් මටද උපුටා ගන්නට වුණු නිසාය. එහෙත් එය ඒ විදිහටත් හිතන්නට හැකිය. ඒ නිසාම මට ඒ ගැන තවත් ටිකක් උපුටා ගන්නට සිතුණි. හැබැයි ඒ ටික කියන්නේ gora  විය යුතුයි.

ඉස්සරනම් ආදර සම්බන්ධයක් පටන් ගත්තොත් දෙකක් නෑ අනිවාර්යයෙන්ම විවාහයෙන් නැතිනම් මරණයෙන් තමා අවසන් වෙන්නෙ. ඒවගේම තමයි හිතුමතේට සම්බන්ධකම් පටන්ගන්නෙත් නෑ. හොදට හොයල බලල ආශ්රයය කරල තමයි යාළුවෙන්නෙ.

ඒත් අද ආදරය.... අද ආදරයට ඉලක්‌කයක්‌ අරමුණක්‌ නැහැ. ගමනක්‌ තියෙනවා. ඒත් යන්න තැනක්‌ නැහැ......ඒ වගේ තමයි ආදරයත්......ආදරයක් තියෙනවා.......ඒත් ඊට අරමුණක්‌ හේතුවක්‌, ඉමක්‌ කොනක්‌ නැහැ.......

දැන් මම පැහැදිලි කරන්න යන ගීතයෙත් අරුතත් අන්න ඒ වගේ. ඉතාමත් ගැඹුරින් ඉස්සර විදියට ආදරය කරන්න පටන් ගන්න ප්රේමමවන්තයෙකුට හමුවෙන ප්‍රේමවන්තිය අද කාලයේ කොත්තු රොටී ආදරය කරන තැනැත්තියක්. ඉතින් මේ සම්බන්ධයෙන් ප්‍රේමවන්තයා කරන අදෝනාව තමයි කසුන් කල්හාරගේ ගැඹුරු හඬින් ඉතා සංයමයෙන් වගේම හැඟුම්බරව ගායනාකරන්නේ.

අන්න ඒ අරුතින් ගෙන බැලුවහොත් මට දැනෙන දේ මමත් ටිකක් කියමි. එහෙත් මම ගන්නට කැමැති ඒ අරුතින් නොවන බවත් මෙහිම ලියා තබමි.

ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

මේ ඇරඹුම කඳුළක් වන්නට ගත වුණු කාලය කොතරම් කෙටිද යන්න ඒ ඒ මට්ටමින් සිතා ගත යුතුයි. නමුත් ඇරඹුම ම කඳුළක් වෙලා යනුවෙන් කී විට, ප්‍රේමය වැනි විෂයකදී කිසිසේත් ම සාධාරණ නොවන, පෙම්වතෙකුට සැනෙක කාලයක් සේ හැඟෙන කාලයකින් ඒ ඇරඹුම කඳුළකට හැරී ඇති බව නම් අප වටහා ගත යුතුයි. ඔහුට ඒ සැනෙක කාලය ඈට කොයි සේ දැනෙන්නට ඇතිද යන්නද එහි මනාව කියැවී ඇත.

ඒ නම්, ආ දුරත් දුර වැඩි නිසා යන්නෙන් කියැවෙන දේ ය. ඈ සමඟ ගෙවන්නට මහත් අභිරුචියකින් පෙළෙන ඔහුට සැනෙක කාලයක් සේ දැනෙන කාලය, ඔහු සමඟ ගෙවන්නට අරුචි වූ ඇයට කල්ප කාලයක් සේ දැනෙන්නට ඇති වග ය.

මෙහි සාධාරණ කවුද අසාධාරණ කවුද යන්න විමසීම ඔබට භාරය. එහෙත් අර සටහනෙහි දක්වා ඇති මේ කොටස අනුව නම් ඇය අති අමානුෂික ය.

ඉතාමත් ගැඹුරින් ඉස්සර විදියට ආදරය කරන්න පටන් ගන්න ප්රේමමවන්තයෙකුට හමුවෙන ප්‍රේමවන්තිය අද කාලයේ කොත්තු රොටී ආදරය කරන තැනැත්තියක්.
 
හැබැයි ගීතයේ රචකයා නම් පෙම්වතාගේ පැත්තෙන් ප්‍රේමයේ බිඳවැටීම ගැන කියනවා මිස මේ තරම් දැඩි දෝෂ දර්ශනයකට ඇය ලක් කරණ බවක් නොපෙනේ. එහෙත් ඒ එක දෘෂ්ඨියකි. ඈට සාධාරණ පැති නොතිබුණා යැයි කා හටවත් පූර්ණව නිගමනය කළ නොහැකිය.

එය එලෙසින් ඉඟිකරණ අදහසක් මට මෙහි හමුවේ.

දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

දුක්බර ම කවියක් ලියා ඈ ගියා යන්නෙහි අදහස කුමක්දැයි නිෂ්චිත නැත. එබැවින් ම කෙනක් එය ඔහු වෙනුවෙන් ලියූ දුක් බර ම කවියකි ය. ඒ කවිය පවා නිසි ලෙස නොලියා අඩුවක් තබා ඈ හදිසියේ ම පිටමන් වී ගියා ය වශයෙන් සිතන්නට හැකිය. එහෙත් ඒ අරුතින් මදක් වෙනස්ව දෙපැත්තට ම සිතුවහොත්, ඈ ලියමින් සිටියේ තමන්ගේ ම දුක් කවිය යැයි මට හිතීම වරදක්ද? ඒ දුක් කවියේ පද තුනක් ලියන්නට තරම් කාලයක් ඈ ගතකොට ඇත. ඒ කවිය දුක් බර වූයේ ඔහු නිසා විය නොහැකිද? දුක්බරම කවියක පද තුනක් ලියනතුරු ඒ දුක නොදැන සිටි කෙනාට හතර වෙනි පදයත් ලියා දැක්විය යුතුද? එහි අරුතක් වේද යන්න ඈ සිතුවේ නම්??? ඉතින් ඈ ගියේ ඒ නිසා වන්නට නොහැකිද?
ඒ විදිහට ගත් විට දෙපැත්තට ම එක ම පෙම දැනුනු විදිහ එලෙසින් විය නොහැකිද?
ගීතයේ ඊළඟ පාදයෙන් ද ඉඟි කරන්නේ එය නොවේද?

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

ප්‍රේමයේදී බලා සිටිය යුත්තේ සෝකාන්තය එනතුරා ද? බලා සිටිය යුත්තේ සුඛාන්තයක් ළඟා කරගත හැක්කේ කෙසේද යන්න ගැන නොවේද? එබැවින්, අවසානය සෝකාන්තයක් බව දැන දැන ඈද සිටිය යුතුමද? අනන්තය ළඟ ඔහු දමා ඈට යන්නට සිදු වූයේ වඩාත් ඔහු නිසා බව ඒ අනුව මට වැටහීමක් ඇති වීම ගැන කමන්න. ප්‍රේමයේ සෑම බිඳවැටීමකට ම හේතුව ඇය ම නොවන නිසාය. ඊ ළඟට ගීතයේ පාදයක් දෙකක් නොව සමස්තය ලෙස ගෙන දෙන්නේ එවැනි අරුතක් වන බැවිනි.

ඒ, ගීතය ගැන වන ජනප්‍රිය මතය මත සිට ඉදිරිපත් කරණු ලැබූ මගේ මතයයි. එහෙත් ගීතය මට දැනෙන තැන ඊට හාත්පසින් ම වෙනත් එකකි.

මට දැනෙන ඒ හාත්පසින් ම වෙනස් තැන  අනුව, මේ ගීතය දිලීප අබේසේකර විසින් ලියා ඇතැයි මට හැඟෙන්නේම මවක් ගැනය. ඒ මව වෙන්ව ඇත්තේ සිය පුතු යම් දුර ගමනක් ඇරඹුමේදීමය.

ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

පුතුන් බොහෝ දුර ගමන් කර තිබියදී පවා මවකගේ වියෝව පුතුනට මහත් දුකක් වන කල, පුතෙකුගේ ගමනක ඇරඹුමේදී ම මවක් වියෝ වන්නේ නම් ඇරඹුම ම කඳුළක් නොවී තිබෙන්නේ කෙලෙසින්ද? මට හැඟෙන්නේ ම මේ පුතෙකු සිය ගමන අරඹද්දී ම වෙන් වුණු මවක් ගැන මෙහි රචකයා අදහස් කරන්නට ඇති බවය. ඔහු එසේ අදහස් නොකළත් මට එය හැඟෙන්නේ එලෙසින් ම ය.

පුතුගේ මේ ඇරඹුම උපත නොවන බව මතක් කරමි. මවගේ මේ වියෝව පුතුගේ උපතත් සමඟ ම වූවක් නොවන බව ද මතක් කරමි. මේ ඇරඹුම අනෙකකි. 

මොහොතකට අපි සිතමු ඔහු ලොකු මහත් වී සිය ගමනේ වෙසෙස් ඇරඹුම ගත් කාල වකවානුව එය ලෙසින්. 

සිය පුතුන් ජය ගනු බලනු රිසින් සිටින මවක් ඒ ජය ලබන්නට මොහොතකට පෙර වෙන්ව ගියේ යැයි සිතන්න. එය හරියට ම දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ගීතයේ බඳු සිද්ධියක් ලෙසටය මට දැනෙන්නේ.

එහි කියැවෙන්නේ,

ඒ දිවියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට
ඔබ මා ළඟ නැත
අම්මා 

කියාය.

මට මෙහි ඇත්තේද ඒ දැනවුම ම ය.

එහි ඊ ළඟ පද පෙළත් ඊටම මනාව පෑහෙයි.

දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

එවන් පුතෙකු වැදීමට හැදීමට මවක් ගන්නා වෙහෙස දුක් බර ම කවියක් වැනි වීම කාටත් නොරහසකි. එසේම, එය නිම කිරීමට පෙර එවන් මවකගේ වියෝවීම පුතෙකුට ද එවන්ම දුකක් වන බවද ඒ කාටත් නොරහසකි. එය දුකක් සේම ඔහු දිවියේ විසඳන්නට බැරි ගැට පද කවියකි. ඈ ගියේ හරියටම ඉතිරි පදය කුමක් විය හැකිදැයි අනුමාන  කර ලියන්නට පුතුට පවරා එහි අරුත පසඳින්නට ද ඔහුටම තැබූ සේ ය.

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

දරුවන් ජය ගැනුම ඇයට මහත් සොම්නසකි. එහෙත් තම මහළු ජීවිත වල සෝකාන්තය එනතෙක් සිටි විට ඔවුනට එය කරදරයක් විය හැකිය. සෝකාන්තය එනතෙක් නොසිට යන්නට ඈ සිතුවේ නම් එය අසාධාරණ නොවේ යැයි සිතෙන්නේ ගමේ ගොඩේ බොහෝ අම්මලා අප්පච්චිලා කියන කතාවක් මත පිහිටා ය. 

දරුවන්ට ජරාව අතපතක ගාන්න  වෙන තරමට දිරාපත්වෙනතුරු නම් අපි ඉන්න කැමැති නෑ. අපි දරුවන් හැදුවේ උන්ගේ ජරාව අතලපත ගාලා වුණාට, උන්ට කරදරයක් වෙන්න අපිට බෑ වැනි අරුතකි එහි ඇත්තේ. 

ඈ ගොස් ඇත්තේ ඒ අදහස අනුව වැනි ය. එහෙත් ඒ වියෝව පුතුට මහත් ම දුකකි. හරියට ම අනන්ත අවකාශයක තමන්ව තනි කර ගියාක් වැනි ය.

මේ ගීතයට හැඟීම් එක් කරණ  


නාලක අංජන කුමාර 
ගේ සංගීතය නිසාවෙනි ගායක කසුන්ට ගායන පෙළහරක් පාන්නට ඉඩ හසර සැලසෙන්නේ. එය සැබෑ ගායකයෙකුට ගයන්නට දුන් උපරිම ඉඩකි. එබැවින් ම ඔහු, ඇසූ විට හැඬෙන ගීයක් ඇඬෙන්න ගයා ඇති අයුර දැකිය හැකි වෙයි. නිර්මානයකට අමිල දායකත්වයක් සපයනවා යන්නෙහි අරුත මෙයයි. එවැනි අවස්ථා දුලබ නැත්තේ වුව, දැන් දැන් දුලබ වෙමින් පවතී. එබැවින් මෙය අලුත් පරපුරේ මහඟුම නිර්මාණයක් සේ හැඳින් වීම යුක්ති යුක්තය. 

දැන් මට කිව යුතුව ඇත්තේ මෙහි පුතා කවුද? මව කවුද යන්න ගැන පමණි. මෙහි මව බොහෝ දුරක් සිය ක්ෂේත්‍රෙය් සාර්ථක ගමනක යෙදෙමින් සිය හැකියාවන් සිය ජාන තුළ බහා සිය පුතුට දී ගිය  


විශාරද මාලනී බුලත්සිංහල  
ශිල්පිනිය විය යුතුම ය. ඇගේ පුතු සිය සංගීත ගමන් මග බර අඩි තබා යන්නට ඇරඹූ විටම ය ඈට සිය අවසන් ගමන යන්නට යෙදුනේ. එබැවින් ගීතය මට දැනෙන අයුරින් අරුත්ගැන්වූ විට ඒ ගීතය තුළ සිටිය යුතු පුතු 


කසුන් කල්හාර 
ම ය.
අපි ඇරඹුම ම කඳුළක් වෙලා ගීතය අසමු.





-      යසනාත් ධම්මික බණ්ඩාර    -