Sunday, July 23, 2017

4. ඡයාවක හෝ ඇය නොදකී නම්....






අවසන් වරට කතා කළ ගීය වූයේ ඇරඹුමම කඳුළක් වෙලා යන කසුන් කල්හාර ගැයූ ගීයයි. ඒ සටහන නොකියැවූ අයෙක් වී නම් මෙම දිගුව ඔස්සේ ගොස් කියවා සිටීම වැදගත් වන්නේ, වියෝ ගීයකැයි බොහෝ දන හඳුන්වන බැවින් ඒ අදහස මත පිහිටාද අදහස් දැක් වූ නමුදු, මටම ආවේනික අදහසක පිහිටා මා අනතුරුව දැක් වූ අදහස මේ ගීය විඳීමට ද මහත් රුකුලක් වන හෙයිනි.

එබැවින් ඒ ගීය ගැන කියවා මේ ගීය ගැන කියැවීමට මේ ඔස්සේ එන්න.
 
මා එහි තැනක මෙවන් වදන් ටිකක් ලියා ඇත්තෙමි.

පුතුන් බොහෝ දුර ගමන් කර තිබියදී පවා මවකගේ වියෝව පුතුනට මහත් දුකක් වන කල, පුතෙකුගේ ගමනක ඇරඹුමේදී ම මවක් වියෝ වන්නේ නම් ඇරඹුම ම කඳුළක් නොවී තිබෙන්නේ කෙලෙසින්ද? මට හැඟෙන්නේ ම මේ පුතෙකු සිය ගමන අරඹද්දී ම වෙන් වුණු මවක් ගැන මෙහි රචකයා අදහස් කරන්නට ඇති බවය. ඔහු එසේ අදහස් නොකළත් මට එය හැඟෙන්නේ එලෙසින් ම ය.

පුතුගේ මේ ඇරඹුම උපත නොවන බව මතක් කරමි. මවගේ මේ වියෝව පුතුගේ උපතත් සමඟ ම වූවක් නොවන බව ද මතක් කරමි. මේ ඇරඹුම අනෙකකි.

මොහොතකට අපි සිතමු ඔහු ලොකු මහත් වී සිය ගමනේ වෙසෙස් ඇරඹුම ගත් කාල වකවානුව එය ලෙසින්.

සිය පුතුන් ජය ගනු බලනු රිසින් සිටින මවක් ඒ ජය ලබන්නට මොහොතකට පෙර වෙන්ව ගියේ යැයි සිතන්න. එය හරියට ම දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ගීතයේ බඳු සිද්ධියක් ලෙසටය මට දැනෙන්නේ.

එහි කියැවෙන්නේ,

ඒ දිවියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට
ඔබ මා ළඟ නැත
අම්මා

කියාය.

මට මෙහි ඇත්තේද ඒ දැනවුම ම ය.

එහි ඊ ළඟ පද පෙළත් ඊටම මනාව පෑහෙයි.

දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

එවන් පුතෙකු වැදීමට හැදීමට මවක් ගන්නා වෙහෙස දුක් බර ම කවියක් වැනි වීම කාටත් නොරහසකි. එසේම, එය නිම කිරීමට පෙර එවන් මවකගේ වියෝවීම පුතෙකුට ද එවන්ම දුකක් වන බවද ඒ කාටත් නොරහසකි. එය දුකක් සේම ඔහු දිවියේ විසඳන්නට බැරි ගැට පද කවියකි. ඈ ගියේ හරියටම ඉතිරි පදය කුමක් විය හැකිදැයි අනුමාන  කර ලියන්නට පුතුට පවරා එහි අරුත පසඳින්නට ද ඔහුටම තැබූ සේ ය.

මේ දුක හඳුන්නනේ පුතුන් පමණක් නොවේ. දූවරුන්ද එය හොඳින් හඳුනයි. අම්මා නැති අඩුව පුතුනට දැනෙනවාටත් වඩා වැඩියෙන් දූවරුනට ඇනෙනවා ඇතැයි ඇතැම් විට මට හැඟේ. එහෙත්, එය එසේමදැයි ස්ථිරවම කීමට සමත් මිණුම් දණ්ඩක් මා සතුව නැත.

කෙසේ වෙතත් මී ළඟ ගීතය පදනම් වන්නේ අමතක මවකගේ මතකය ගැන දුවකගේ කඳුළු කතාවක් මතය.

මවගේ මතකයවත් යමෙක් සතු වේ නම් එය මහා සැනසුමක් වන්නේ කෙසේදැයි හැඟෙන්නේ යමෙකු තුළ සිය මවගේ මතකයවත් නොමැති වූ කල්හි පවතින හැඟුම් වටහා ගතහැකි නම් පමණි. අප මතකයේ මතු නොව, මව අපද සමග, අපද මවු පිය පදවි හොබවන තෙක්ම දිවි ගෙවූ නිසාවෙන්, ඒ හැඟීම නිසි ලෙස වටහා ගන්නට නොහැකි වන්නේ වුව, එය මොන තරම් අඳුරු අගාධයක ඇති භයංකර බව මවන්නේ දැයි සිතා ගැනීමට කා හට වුව නොහැකි වේ යැයි මම නොහඟිමි. එය එතරම්ම අඳුරුයැයි මට සිතේ.

මේ හැඟීම වදන් තුළට ගොනු කරගන්නේ කෙලෙසින්ද? ඒ හැඟීම මහා ගැඹුරු වදන් තුළ නොසංගා, සරල වදන් පෙළ ගැස්මක් තුළ දවටා මහා හැඟුම් ජනිත කරවන මේ අපූරු ගී පද පෙළ බලන්න.

මතකය ඇසුරින් සිහියට ගන්නට
නිතරම වෙහෙසුණෙමි
මට පමණක් ඒ පින නැත්තේ ඇයි
නිරතුරු වැළපුණෙමි

අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමී
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමී...

මතකයේ වත් නිවැරදි සටහනක් තබා ගැනීමට ඈ අසමත් යුගයක ය ඈ මව මෙලොව හැර දා ගොස් ඇත්තේ. ඒ ගොස් ඇත්තේ ඈ ව මොලොව තනිකර නොවේද? 

මතකයේ වත් අම්මා සිටී නම් කුමන වූ පහසුවක්ද? සහනයක්ද? සැනසීමක්ද? මතකයේවත් අම්මා නැති කල, අම්මා මෙන්න මෙවැනි යැයි සිතන්නට ඈ ගන්නා වෑයම තුළ මතුව ඈ රිදවන අනන්ත දුක කවරාකාර වන්නට ඇතිද?
එදා ඈට අමතක කාල වකවානුවක මෙලෙස වන්නට ඇතැයි ඈ සිතනායුරෙහි ඇති මහමෙරක් වන් දුක කඳුළෙහි දියව යන්නට ඇතිවාට වඩා සුසුමෙහි මුසුව හමා යන්නට ඇතැයි මට සිතේ. 

කෙනෙකු තම දුක වඩාත්ම පහ කර හරින්නේ කඳුළේ දියකිරීමෙන්ද? සුසුමෙහි පා කිරීමෙන්ද? මේ පැණයට ඔබේ පිලිතුර කුමක්ද? මගේ පිලිතුරමද?

මට හැඟෙනයුර නම් බොහෝ විට අප, කඳුළට වැඩි තැනක් දුන්නද, සුසුම එහි වැඩි බර උහුළනු අති බවයි.

ඈට අමතක ඈ බිළිඳු දවස්වල මේ සිද්ධි මේ විදිහටම වන්නට ඇති. එහෙත් එක දෙයක් පමණක් නොවන්නට ඇති. ඒ නොවන්නට ඇති දේ ය මෙහි වඩාත්ම සංවේදී කොටම වනුයේ.

ඉස්සර දවසක උදෑසනක ඔබ
මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී
මට ලේ කිරි දෙන්න ඇතී
මගෙ හිස පිරිමැද මගෙ ගත පිරිමැද
මුව සිප ගන්න ඇතී

ඔව්. ඒ සියල්ලම ඒ විදිහට වන්නට ඇති. එහෙත් සිය දියණිය වෙනුවෙන් ඈ නොකළ එක් දෙයක් වෙයි. ඈ සිය දියණිය වෙනුවෙන් එය නොකිරීම දියණියට කළ අඩුවක්ද? අවැඩක්ද? වරදක්ද? නැති නම් හොඳක්ද? 

එය කාගේ කෝණයෙන් මැණ කියන්නද? 

දියණියගේ කෝණයෙන් ගත් විට පෙනෙන දේ මෙහි ලියා ඇත. එහෙත් මවගේ කෝණයෙන් බැලූ විට ඇති දේ අප සිතා ගත යුතු වෙයි.

මෙහිදී මේ මව නොකර සිටියේ මෙයයි.

ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇතී...

එනම් ඈ යනවිට ඈ සමග සිය දියණිය ගෙන නොයන්නට ඈ තීරණය කර ඇත.
මව ගියේ කොයිබටද? මරු තුරුළටය. ඈ සිය දියණිය රැගෙන නොගියේ මරණයේ සීතල ඇඟිලි තුඩු වෙතට ය.
එහෙත්,

ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇතී...

යන්න තුළ ඈට ඇත්තේ සිය මව තමන්ව තනිකර දමා ගිය ශෝකයේ මහා දෙදරුමය. එහි කියනා අනෙක් දේ නම්, මවු තුරුලේ සිටිමින් මරු තුරුළට යෑම වුව යහපතැයි වන හැඟීමක් ඈට ඇති බව නොවේද?

අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමී
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමී
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි...

මෙහි මේ කොටසෙහි වන වැදගත්ම දේ නම්, අපැහැදිලි අමතක අතීතයක මතකය මතු කරගන්නට වෙහෙසෙන ඈට අපැහැදිලි වුව යම් දෙයක් පිළිබඳව වන තිර විශ්වාසයයි. ඒ පැහැදිලි නොවන දෙය මතු කරණ හැඟීම අම්මා නිසා වන බවයි. එවන් හැඟීමක් ජනිත කළ හැක්කේ අම්මාට ම පමණි. අන් කිසිවෙකුට එවන් හැඟුමක් ජනිත කළ නොහැතකිය. ඒ නිසා ය එහි මෙලෙස ලියැවෙන්නේ.

පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි...

පැහැදිලි නැති ඒ එකම එක ඡායාව අම්මා ම බවට ඇති විශ්වාසය ඈට මහත් සහනයක් වන්නට ඇත.

ගීතය පිළිබඳව වන හැඟීම් විමසුම පිළිබඳව ලියන්නට වදන් ශක්තිමත් නැත. එබැවින් වදන් වත්තම කරගෙන හැඟීම් තුළටම පිවිසිය යුතුය. මේ ගීය අසනා වාරයක් වාරයක් පාසා මගේ උගුර හිරවෙනු මට දැනෙයි. එය ඔබට ද දැනිය යුතුමය. ඒ දැනුම වදන් ගලපා ලියන්නේ කෙලෙසින්ද? ඒ දැනුම වදන් වලින් පෙන්විය හැකි දෙයක් නොවේ. විඳ පසක්කර ගතයුතු දෙයකි.

මේ ගීතයේ ඊ ළඟ වෙසෙස් කරුණ නම්,  


සංගීතඥ, ගායක ක්ලැරන්ස් විජේවර්ධන  
සතුව තිබූ පබැඳීමේ ශක්තියයි. ඔහු විසින්ම ලියන ලද ගී කිහිපයක්ම අපට හමු වෙයි. එහෙත් මා කිසි දිනක ඔහු මෙතරම් සංවේදී ගී පබඳින්නෙකැයි සිතා නොතිබුණි. මේ ගීතය මීට වැඩි සරල පැහැදිලි අයුරින් කෙනෙකුට යළිත් ලිවිය හැකිද? එය ඒ තරමටම සරලය. පැහැදිලිය. එහෙත් පුදුමාකාර තරමකින් සංවේදීය. එය ඔහු සතු විශිෂ්ඨත්වයයි.

මේ ක්ලැරන්ස්ගේ මව ගැන ලියූවක්ද? නැති නම්


ඉන්ද්‍රාණි පෙරේරා 
ගේ  මව ගැන ලියූවක්ද? නැති නම් දෙදෙනාගේම නොවන කාගේ හෝ මවක් ගැන ලියූවක්ද? කොයි කාගේ මව ගැන ලියූවද, මෙවැනි අත්දැකීමක් නොමැති දරුවෙකුගේ වුව දෑසට කඳුළු ගෙන ඒමට, පපුවේ සුසුම් පිරවීමට, සුසුම් පුරවා පපුව හිර කිරීමට එය සමත් වෙයි.


ගී පද     : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: ඉන්ද්‍රාණි පෙරේරා


ගීතය අසමින් සංවේදී වෙමු.




 
 -      යසනාත් ධම්මික බණ්ඩාර    -

No comments:

Post a Comment